#අපේගීපැදුරගීතවිචාර
#apegeepedura2025

සමහර දේවල් කරන්න ඇත්තේ කොහොමද කියලා අදටත් හිතාගන්න අමාරුයි. මං වෙනුවෙන් දාඩිය වගුරපු තරම්.. කල්පනා කරලා බලද්දී සමහර නොතේරුණු ප්‍රෙහේලිකා වලට උත්තර මට තේරෙන්නේ දැන්. තුරුණු වියට පැමිණුනාම දැනෙනවා, “අප්පච්චි”, “තාත්තා” කියන වචනයේ ගැඹුර. නොකියන සෙනෙහසක් මේ ලොව ඇත්නම්, ඒ පිය සෙනෙහස..

ඉපදුනු දවසේ දෝතට අරගෙන මොන තරම් හීන ගොඩකින් හිත පුරවගන්න ඇතිද. එදා ඉඳන් අවරුදු ගානක් බර උහුලන් ඉල්ලන හැමදේම දෙන්න දඟලපු විදිය, දැන් මට ටික ටික තේරෙනවා. ප්‍රෙහේලිකාවේ කොටු එකින් එක පිරෙද්දී ඒ සෙනෙහසේ බර දැනෙනවා. ඒත්, ජීවිතේ එක දවසක හරි අප්පච්චි මගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. උල්පත් සිය ගණන් මවපු මහා කන්දක් වගේ මට හැමදේම දුන්නත්, ලෝකෙට කෑගහලා කියන්න ගියේ නැති ඒ සෙනෙහස හරි පුදුමයි. ඒ කන්ද තවමත් නිසලයි, නිහඬයි.

තුරුණු කුඹුරු යායක් වගේ අද මම හැමෝටම සාරවත් අස්වනු දෙන්නේ ඒ ලැබුන දිය දහර නිසා නේද? ඒත් පුතෙක්, දුවෙක් විදියට, අපි දිහා බලාගන යාන්තම් සිනාසෙන අප්පච්චිලාගේ සිනාවන්, මම දකින්නේ කලාතුරකින්. අපි දෝතට ගත්ත මුල්ම දවසේ තිබුන සිනහව අපි ලොකුවෙනකොට ඒ මුහුණේ දකින්න ලැබෙන්නේ නෑ නේද? ඒක හරිම පුදුමයි, අපේ නිහඬ වීරයාගේ සිනහව ටික ටික මැකිලා යන හැටි දකින එකත් හරිම වේදනාවක්. උපේක්ෂාවෙන් හැමදේම දිහා බලන් ඉන්න එක හැමෝටම ලේසි දේකුත් නෙමෙයි.

හැමදේම කලේ ආසාවෙන් නෙමෙයි වෙන්න ඇති. දැන් තමයි මට දැනෙන්නේ, තේරෙන්නේ. අපේ ආසාවන් සඟවාගෙන අපි කරන කැපකිරීම් වගේ දහස් ගුණයක් දේවල් අප්පච්චි අමතක කරන්න ඇති මම නිසා. තමන් වෙනුවෙන් පැලකරපු හීන වලලන්න ඇති. මං වෙනුවෙන් හීන අලුතින් පැලකරන්න ඇති. යුතුකම්, වගකීම් ගොඩගැහෙන්න ඇති. අන්තිමේදී යුතුකම්, වගකීම් ඉවරකරලා යන්න විතරක් හිතහදාගන්න ඇති. ඒත් කවදාවත් දුක් මූණක් පෙන්නුවේ නෑ ඒ දේවල් නිසා. මම අදටත් දන්නේ නෑ අප්පච්චි මොනවටද ආස, මොනවද ඕන කියලා. හැමදාම කිව්වේ මට මොකුත් ඕන නෑ කියන එක විතරයි.. සුවහසක් පියවරුන්ගේ සෙනෙහස අදටත් එහෙමයි, ඒ තමයි ඇත්ත. ඒ නිසා අප්පච්චිව ආදරෙන් පරිස්සම් කරගන්න.

කසුන් කල්හාරයන් සංගීතවත්කර ගායනා කරන, ජයතිලක කම්මැල්ලවීරයන් විසින් පද අමුනන්නට යෙදුනු “සියක් උල්පත් මවාදී” ගීතය ස්වාභාවදහමේ සරල සංසිද්ධි උපමා කරගනිමින් පිය සෙනෙහසේ සැබෑ ස්වරුපය හිතට කාවද්දන ගීතයක්.

සියක් උල්පත් මවා දී
නිසලවම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චී… අප්පච්චී…

ඔබෙන් දිය ලැබ සාර වූ
තුරුණු කෙත්වතු දෙස බලා
නොපෙනෙනා තරමින් සිනාසී
නිසලවම හිදිනා
අප්පච්චී… අප්පච්චී…

මෙහෙවරට ආවැයි සිතා
වෙහෙස නොබලා වෙහෙසෙනා
තෙත් ගුණය මෙත් ගුණය සගවා
අකම්පිත වත පා
අප්පච්චී… අප්පච්චී…

ගායනය – කසුන් කල්හාර
සංගීතය – ‍කසුන් කල්හාර
පද රචනය – ජයතිලක කම්මැල්ලවීර

ප්‍රවේශපත්‍ර සඳහා – https://docs.google.com/forms/d/e/1FAIpQLSdvOG5Is5gcsiLUwGeMRE0vgZ7RWaEYBKWzAB4jhDiu35EEbA/viewform?usp=sf_link

Newer Post
Older Post